ලංකාවට හොරෙන් පැනලා ඉන්දියාවෙන් අල්ලන රුපියල් කෝටි 4ක් වටිනා මුහුදු කූඩැල්ලා ගැන විශේෂ හෙළිදරව්වක් - මරුසිරා - Marusira

Latest

2017

Sunday, June 3, 2018

ලංකාවට හොරෙන් පැනලා ඉන්දියාවෙන් අල්ලන රුපියල් කෝටි 4ක් වටිනා මුහුදු කූඩැල්ලා ගැන විශේෂ හෙළිදරව්වක්



ලංකාවට හොරෙන් පැනලා ඉන්දියාවෙන් අල්ලන රුපියල් කෝටි 4ක් වටිනා මුහුදු කූඩැල්ලා ගැන විශේෂ හෙළිදරව්වක්

අනේක වර්ගයේ සතුන් පෙළක් මිනිස් කුසට රිංගා බඩ ගින්දර නිවා දමති. ලොව වටා සිටින මහා මිනිස් කැලගේ ‘අග්නිදාහය’ නිවා දමන්නට මෙසේ පෙළ ගැසී සිටින සත්ත්වයන්ගේ හැඩරුව ද පුදුමාකාරය. විටින් විට අපට අසන්නට ලැබෙන මෙම අපූරු කතාන්දරය පසුගිය සතියේ ද නැවත අසන්නට ලැබුණේය. ඒ මුහුදු කූඩැල්ලන්ගේ කතාන්දරයයි. ගොඩබිම සිටින අපගේ ‍ලේ උරාබොන කූඩැල්ලන් නම් අප දැන හඳුනාගෙන තිබුණ ද මෙම මුහුදු කූඩැල්ලෝ කවරහුද? එසේම මෙම සත්ත්වයාත්, ශ්‍රී ලංකාවත් වටා ගතෛන පුදුමාකාර කතාව කුමක්ද?

‘රුපියල් කෝටි 2 1/2ක මුහුදු කූඩැල්ලන් කල්පිටියෙන් අල්ලයි’ එය මෙයට දින පහකට පෙර පළ වූ පුවතකි. එයට පෙර පසුගිය වසරේ පළ වූ තවත් පුවතක් වූයේ ‘මුහුදු කූඩැල්ලන් කිලෝ 1341ක් අල්ලයි, වටිනාකම රුපියල් මිලියන 12යි’ යන්නයි. මිලියන 12ක් යනු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි. මේ ආකාරයට රුපියල් කෝටි ගණනින් ලංසු තබන මෙම සත්ත්වයාගේ කතාන්දරය කුමක්ද? ඉහත සිදුවීමි දෙකම වාර්තා වී තිබුණේ කල්පිටිය මුහුදු ප්‍රදේශයෙනි. එසේම මේ ආකාරයේ සිදුවීම් රැසක් ද පසුගිය කාලය පුරා වාර්තා වෙමින් තිබිණි. ගොඩබිම සිටින කූඩැල්ලාට නැති ලංසුවක් මුහුදු කූඩැල්ලාට තබන හෙයින් එය සොයා බැලීමට සිත් විය.

මෙකී අසරණ මුහුදු සත්ත්වයා පිළිගත් ව්‍යවහාරික ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ ‘Sea Cucumber’ (සී කියුකම්බර්) වශයෙනි.

මෙම සත්ත්වයන් වම්බොටු සමාන හැඩයක් ගෙන ඇති හෙයින් Sea Cucumber (සී කියුකම්බර්) ලෙසින් හැඳින්වේ.

‘මුහුදු කූඩැල්ලා’ නමැති සමුද්‍ර ජීවියා මිනිසාගේ බඩ, කට පුරවන්නට පෙළ ගැසී සිටින අහිංසක සත්ත්වයෙකි. ඒ අපේ රටේ උදවියගේ නොව ඒරොප්පේ ඇත්තන්ගේය. අප රටේ මේ ආහාරය ගිල දමන මිනිසුන් අල්පයක් ඇත ද එය සුළු ජනප්‍රිය ආහාරයක් නොවේ. කෙසේ වුවද විදෙස් රටවල් රැසක මේ මුහුදු සත්ත්වයා මිනිස් පරිභෝජනය සඳහා ගැනෙයි. එහි දී සිදු වී ඇත්තේ එම වගතුගට ශ්‍රී ලංකාව ද සම්බන්ධ වී තිබිමය.



මෙය සැබැවින්ම ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදු වන්නේ මහා පරිමාණ ජාවාරමක් ලෙසය. එනම් රුපියල් කෝටි ගණන්වලින් කෙරෙන රහසිගත ව්‍යාපාරයක් ලෙසය. ශ්‍රී ලංකාවේ ‍පොලිසිය සහ විශේෂයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ද මෙම ජාවාරම ගැන මහත් විමසිල්ලෙන් සිටියි. මෙම මුහුදු කූඩැල්ලන් ව්‍යාපාරයට සැබැවින්ම පැති දෙකක් ඇත. එනම් එය ශ්‍රී ලංකාවේ දී නීතිමය අයුරින් සිදු කිරීමත්, එසේම වංචනික අයුරින් සිදු කිරීමත් එම පැති දෙක වෙයි. අප රටින් මේ මුහුදු සත්ත්වයා අල්ලාගෙන රට පැටවෙයි. එනම් එය නීතිමය ලෙස හොඳින් කෙරෙන අතර, අතිශය සංවිධානාත්මක ජාවාරමක් ලෙස නරකින් ද කෙරෙයි. මේ ආකාරයට වඳවී යාමේ තර්ජනයකට බලපා සිටින මෙම සමුද්‍ර ජීවියා ෙනෙතික අයුරින් අල්ලාගත හැක්කේ යම් සීමා සහිත අවසරයක් මත පමණි. එසේ නිල අවසරයක් නොමැතිව මෙම සතුන් මහා පරිමාණයෙන් අල්ලා ගැනීම අද ජාවාරමක් වී ඇත.

මුහුදු කූඩැල්ලාගේ විද්‍යාත්මක නාමය වන්නේ ‘හොලොතූරියන් ස්කැබ්රා’ (Holothurian Scabra) ය. මෙම සත්ත්වයා වර්ග 17කට බෙදෙන අතර, මිලියන ගණනාවක සත්තු ලෝකයේ රටවල් රැසක සමුද්‍රයන්හි වාසය කරති. ශ්‍රී ලංකාව ආශ්‍රිත උතුරු මුහුදු තීරය ද මේ සතුන්ට හොඳ නිජබිමකි. අපේ ධීවරයන් රැසක් මෙම ජීවියා අල්ලා ගැනීමෙහි හොඳින් හෝ නරකින් හෝ නියැළී සිටිති. එනම් මුහුදු කූඩැල්ලා අල්ලා ගැනීම නිසි නිල අවසරයක් ඇතිව සිදු කළ හැකිය. ඒ සඳහා ධීවර අමාත්‍යාංශය යම් තෝරාගත් ධීවරයන් පිරිසකට විශේෂ බලපත්‍රයකින් අවසර ලබා දෙයි. මෙය කරනු ලබන්නේ විදෙස් රටවලට අපනයනය කිරීම සඳහාය. මෙම ධීවරයන් පිරිස ෙනෙතික ලෙස මෙම කාරිය කරන විට දී තවත් පිරිසක් නීති විරෝධීව නිල අවසරයකින් තොරව එම කටයුත්ත කරති. එසේම තවත් අපූරු පුවතක් වන්නේ මෙම නීති විරෝධී ක්‍රියා පිළිවෙතට ඉන්දියානු ධීවරයන් ද එකතු වී සිටීමය. ඉන්දියානුවන් මෙය හොර රහසේ සිදු කිරීමට ගජ හපනුන්ය.

පසුගිය දා බලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු වූ සිද්ධීන් දෙකටම සම්බන්ධ වී තිබුණේ ඉන්දියානු ධීවරයන්ය. මුහුදු කූඩැල්ලන් කිලෝ 1341ක් අල්ලාගත් සිදුවීමට ඉන්දියානු ධීවරයන් තිදෙනකු සම්බන්ධ වී තිබුණු අතර, අනෙක් කිලෝ 608ක් අල්ලාගත් සිදුවීමට ද ඉන්දියානුවන් තිදෙනකු සම්බන්ධ වී තිබිණි. මෙම මුළු තොගයෙහි වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්නය. ඉන්දියානුවන් මෙම ජාවාරම කරන්නේ බොහෝ සංවිධානාත්මකවය. මොවුහු තම ධීවර යාත්‍රාවලින් ශ්‍රී ලංකාව, ඉන්දියාව ආසන්න මුහුදු තීරයේ දී සතුන් අල්ලා ගනිති. ඉන් පසුව මෙම අනවසර මසුන් තොගය ශ්‍රී ලංකාවට හොර රහසේ ගෙන එයි. එම තොග මෙහි රැගෙන එන්නේ මුහුදු කූඩැල්ලන් අපනයනය කරන ශ්‍රී ලාංකික සමාගම්වලට හොර රහසේ විකිණීමටය. තමන්ගේ කාරිය සාර්ථක වුවහොත් එම අනවසර මසුන් තොගය ඉබේම ෙනෙතික (නීතිමය) තත්ත්වයකට පත් වෙයි.

යටකී ශ්‍රී ලාංකික සමාගම් මෙම සත්ත්ව තොග ධීවරයන්ගෙන් (අවසර ලත් සහ නීති විරෝධී) ලබා ගන්නේ ඉතාමත් අඩු මුදලකට වුව ද, එම මුදල අදාළ ධීවරයන්ට ඉතා ඉහළ මිලක් බැව් කල්පිටිය ‍පොලිසියේ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි. එසේම මෙම ජාවාරම පිළිබඳ තතු ශ්‍රී ලංකා නාවික හමුදාව නිරීක්ෂණය කරයි. බලපත්‍ර සහිත සමාගම් ධීවරයන්ගෙන් මුහුදු කූඩැල්ලන් කිලෝවක් රුපියල් 5000කට පමණ ලබා ගනිති. මෙය ධීවරයන්ට අධික මුදලක් වන හෙයින් ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ධීවරයෝ විශාල ප්‍රමාණයක් හොර රහසේ මෙම සතුන් අල්ලා ගැනීමට පෙලඹී සිටිති.

මුහුදු කූඩැල්ලන් නිසි බලපත්‍ර නොමැතිව ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් බැව් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ බලධාරිහු පවසති. කෙසේ හෝ රුපියල් 5000ට ගනු ලබන මුහුදු කූඩැල්ලන් කිලෝව සමාගම් මගින් විදෙස් රටවලට විකුණනු ලබන්නේ කිලෝව රුපියල් 15,000-20,000 අතර අධික මුදලකටය.

අල්ලා ගන්නා මුහුදු කූඩැල්ලන් අමු තොග සහ වියළි තොග වශයෙන් විදෙස් රටවලට අපනයනය කරති. අමු තොග ඉක්මනින් විකිණීම කරන අතර වියළි තොග කාලයක් පුරා තබා ගනිති. විදෙස් රටවල් රැසකින්ම මේ සඳහා ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇත. ශ්‍රී ලාංකික සමාගම් ෙනෙතික අයුරින් කටයුතු කළ ද අවස්ථාවක් ලැබුණු විට දී කූට ක්‍රියාවන්ට ද ලක ලැහැස්තිව හොර රහසේ කූඩැල්ලන් තොග ලබා ගැනේ.

මුහුදු කූඩැල්ලන් විදෙස් රටවල උදවියට රසවත් ආහාරයක් වී ඇත්තේ එම සත්ත්වයන් මුළුමනින්ම මසින් පිරුණු සත්ත්වයන් වීම හේතුවෙනි. කොටස්වලට බෙදීගිය ශරීරයක් මෙම මුහුදු සත්ත්වයාට නොමැත. නොගැඹුරු මුහුදේ සහ කලපුවල ද මෙම සත්ත්වයා ජීවත් වන බැව් සාගර විද්‍යාඥයන් පෙන්වා දී ඇත. මුහුදේ සිටින සත්ත්වයන්ට වඩා කලපුවල සිටින සත්ත්වයන් කුඩාය. එනම් ප්‍රමාණයෙන් සෙ.මී. 10 සිට සෙ.මී. 30 (අඟල් 04 සිට අඟල් 12 දක්වා) දිග සතුන් ද, එතැනින් ඔබ්බට මීටර් 03ක් පමණ දීර්ඝ වන අති විශාල යෝධ මුහුදු කූඩැල්ලන් ද සිටින බැව් වාර්තා වී ඇත. ප්‍රමාණයෙන් අඩු සත්තු නොගැඹුරු සාගරයේ ද, ඉතා විශාල සත්තු ගැඹුරු සාගරයේ ද ජීවත් වෙති. එසේම මෙම සතුන් මීටර් දහයේ සිට මීටර් සිය, දහස වන ගැඹුරු සාගර පරතරයක ජීවත් වන බැව් පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

මුහුදු කූඩැල්ලන් ජීවත් වන ප්‍රදේශ සාගරයෙහි වෙන් වෙන්ව ඇත. එක් ස්ථානයක වර්ග මීටරයක පමණ ප්‍රදේශයක සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ සතුන් දහසක් පමණ ජීවත් වෙති. මේ නිසා ධීවරයන්ට සත්ත්වයන් එක්වර තොග වශයෙන් අල්ලා ගැනීමට පහසු වී ඇත. බොහෝ විට දැල් වර්ග භාවිත කරමින් සතුන් අල්ලා ගනිති. එතරම් දියුණු මොළයක් (මනසක්) නැති මුහුදු කූඩැල්ලාගේ ස්නායු පද්ධතිය ද එතරම් ප්‍රබල නැත. මේ නිසා ධීවරයන්ගේ ග්‍රහණයට ඉතා පහසුවෙන් හසු වෙති. මුහුදේ ඇති තෘණ වර්ග සහ කොරල් පරවල පැවැත්මට මුහුදු කූඩැල්ලන් ප්‍රයෝජනවත් වන බැව් හෙළි වී ඇත. ශ්‍රී ලංකාවේ උතුරුකරය ආශ්‍රිත මන්නාරම් බොක්ක සහ ‍පෝක් සමුද්‍ර සන්ධිය (Gulf of Mannar and Palk Strait) මෙම දුර්ලභ මත්ස්‍ය සම්පතට නියම තෝතැන්නක් වී ඇත. මුහුදු කූඩැල්ලන්ගේ සමහර විශේෂ වඳවී යාමේ තර්ජනයකට ද ලක් වී ඇතැයි පරිසරවේදීන් පෙන්වා දී ඇත.

මුහුදු කූඩැල්ලන් ආහාරය සඳහා මෙන්ම ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා ද භාවිත කරති. චීනයේ සහ ජපානයේ මෙවැනි ඖෂධ වර්ග කිහිපයක් නිෂ්පාදනය කරති. මෙම එක් ඖෂධයක් පිළිකා රෝග සඳහා ද නිපදවති. එසේම සමහර මුහුදු කූඩැල්ලන් විශේෂ භාවිත කරමින් රූපලාවණ්‍ය නිෂ්පාදනයන් ද නිපදවති. මෙම මුහුදු කූඩැල්ලෝ සමහර විශේෂ ඉතාමත් මනහර වර්ණයන්ගෙන් යුත් දර්ශනීය සත්ත්වයෝ වෙති.

තවත් අපූර්ව කතාවක් වන්නේ චීනය, ජපානය සහ තායිලන්තය වැනි රටවල දී මුහුදු කූඩැල්ලන් විශේෂයක් භාවිත කරමින් වාජීකරණ ඖෂධ ද නිෂ්පාදනය කරන බැව්ය. වටිනා මුහුදු ජීවී සම්පත කොල්ලකෑම අද බොහෝ සංවිධානාත්මකව සිදු කෙරෙන මහා පරිමාණයේ ජාවාරමක් බවට පත් වී ඇත. ලොව රටවල් රැසක් මෙම කූට ව්‍යාපාරයට දායක වී ඇත. ශ්‍රී ලංකාව ද එම ලැයිස්තුවේ ඉහළින්ම ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ