කාන්තාවන්ට බහුලව වැළදෙන නහර ගැටගැසීම රෝගය ගැන අනිවාර්යෙන් දැනගත යුතු කරුණු මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Monday, June 4, 2018

කාන්තාවන්ට බහුලව වැළදෙන නහර ගැටගැසීම රෝගය ගැන අනිවාර්යෙන් දැනගත යුතු කරුණු මෙන්න



ශිරා ග්‍රන්ථි රෝගය හෙවත් නහර ගැටගැසීම වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන රෝගී තත්ත්වයකි. එය බටහිර වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වන්නේ “වෙරිකෝස් වේන්ස්” නමිනි. පිරිමින්ට මෙම රෝගී තත්ත්වය ඇති නොවෙනවාම නොවේ. වර්තමානයේදී කාන්තාවන්ගෙන් සියයට 30-40 පමණ පිරිසක් ද, පිරිමින්ගෙන් සියයට 10-20 පමණ පිරිසක් ද පාදවල නහර ගැටගැසීමේ රෝගයට මුහුණපා සිටිති.

මේ රෝගය පාදවල බහුලව දැකගත හැකි නමුදු ශරීරයේ අනෙකුත් ස්ථානවලද ඇතිවීමට පුළුවන. මෙය ජාන සම්බන්ධයක් මත පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ස්වභාවයක්ද දැකගත හැක. අපස්ථිත ශිරා ලෙසද මෙම ශිරා ග්‍රන්ථි රෝගය හඳුන්වනු ලබයි. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්‍ෂණය වන්නේ පාද ආශ්‍රිතව පවතින ශිරා හෙවත් නහර ඉදිමීම ප්‍රමුඛව දක්නට ලැබීමයි. පාද ආශ්‍රිතව පවතින ශිරාවල රුධිර පමණට වඩා එක්රැස් වීම නිසා එම තත්ත්වය දැකගත හැක. පාදවල සිට හෘදය දක්වා රුධිරය රැගෙන යන මෙම ශිරාවල පවතින කපාට මගින් රුධිර ගමන පාලනය කරන අතර එම කපාට නිසි අයුරින් ක්‍රියානොකිරීම රෝගය සඳහා හේතුවේ.

නහර ගැටගැසීම ලෙස මේ රෝගය හැඳින්වුවද මෙහිදී නහර ගැටගැසීමක් සිදුනොවේ. මෙහිදී සිදුවන්නේ පාදවල නහර (ශිරා) ඉදිමී, නිල් පැහැවී එම ශිරා හැකිලී විකෘති වීමය. රෝගයේ මුල් අවස්ථාවේදී එම රෝග ලක්‍ෂණය පෙන්වන්නේ පාදයේ දණහිසින් පහළ කොටසේය. රෝගය උග්‍රවන විට එම තත්ත්වය පාදයේ ඉහළ කොටස දක්වා පැතිරී යයි.

මෙම රෝගයට ගොදුරු වූවන්ට දැනෙන පළමු රෝග ලක්‍ෂණය වන්නේ පාදයේ වළලුකර අසල කොටස ඉදිවීමය. එය බොහෝ විට සිදුවන්නේ සවස් කාලයේදීය. එසේම සවස් වන විට පාදවල බර ස්වභාවයක් දැනීමට පටන්ගැනීමද රෝගයේ මුල් අවස්ථාවේ ලක්‍ෂණයකි. මෙහිදී පාද එක ඉරියව්වක තබාගෙන සිටිය නොහැකි ආකාරයේ අපහසුතාවයක් ඇතිවේ. එමෙන්ම පාදය ආශ්‍රිත වළලුකර ප්‍රදේශය කැසීමට පටන්ගනී. මෙය දදයක ආකාරයෙන් කසන පුද්ගලයන් ද දැකගත හැකිය. මෙම සෑම රෝග ලක්‍ෂණයක්ම උදෑසනට වඩා දහවල් වන විට උග්‍ර අතට හැරේ.

එසේම පාදයේ පහළ කෙළවර සමේ පැහැයෙහි වෙනසක් ඇතිවීමට ද පටන්ගනී. එම ප්‍රදේශයේ සම මතුපිට තිත් තිත් ස්වභාවයක් ද ඇතිවේ. එසේ නැතිනම් පාදයේ ඉතිරි ප්‍රදේශයේ සමේ පැහැයට වඩා තද පැහැයකට හැරීමට පටන්ගනී. එසේම වළලුකර ආශ්‍රිත සම ඝනවීමට ද පටන්ගනී. තරමක බිය උපදවන සුළු රෝග ලක්‍ෂණ ද මේ රෝගයේදී පෙන්නුම් කෙරේ. ඒ පාදය කැසීමෙන් පසුව හෝ නොදැනුවත්වම හෝ පාදයෙන් රුධිරය ගැලීමට පටන්ගැනීමය. එය හදිසියේ සිදුවන්නකි. මෙහිදී රුධිරය ගැලීමක් සිදුවුවද වේදනාවක් නොදැනේ. බොහෝවිට මෙම තත්ත්වයට පත්වූ රෝගීන්ගේ පාදයෙන් රුධිරය ගලනු දකින්නේ අසල සිටි අයකු විය හැකිය.

පාදවල නහර ගැටගැසීමේ රෝගය, රුධිරය ගලායෑමේ තත්ත්වය දක්වා වර්ධනය වූ පසුව එය නොදැනුවත්වම ඇතැම් විට භයානක රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. මෙම රෝගයට ගොදුරු නොවී සිටීමට මෙන්ම මෙයින් මිදීම සඳහා ද රෝගය ඇතිවීමට හේතුවන කරුණු හඳුනා ගැනීම වැදගත්ය.

අපගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම, අවයවයක් ම නිරෝගීව පවත්වාගෙන යෑමට රුධිරය අවශ්‍යය. හෘදයේ සිට ශරීරය පුරා රුධිරය ගෙන යන්නේ ධමනි මගින්ය. එසේ ශරීරය පුරා ගමන් කළ රුධිරය හෘදය වෙත නැවත ගෙන එන නාල හඳුන්වන්නේ ශිරා නමිනි. මෙම ධමනි පද්ධතියත් ශිරා පද්ධතියත් ක්‍රියාකරනු ලබන්නේ වෙන වෙනමය. එම නාල පද්ධති දෙකට අමතරව වසා නාල නමින් තවත් කුඩා රුධිර නාල පද්ධතියක් ද ඇත. නහර ගැටගැසීමේ රෝගය ඇතිවන්නේ ශිරා පද්ධතිය තුළය. මෙම තත්ත්වය බහුලව ඇතිවන්නේ පාදවලය.

පාදවල ශිරා පද්ධති දෙකක් ඇත. ශරීරයේ මතුපිටින් තිබෙන ශිරා පද්ධතිය සහ ශරීරයේ ඇතුළතින් තිබෙන ශිරා පද්ධතිය යනුවෙනි. නහර ගැටගැසීමේ රෝගය ඇතිවන්නේ මතුපිටින් තිබෙන ශිරා පද්ධතිය තුළය. මෙම රෝගය ඇතිවූ විට මතුපිට ශිරා පද්ධතිය මගින් සාමාන්‍යයෙන් සිදුකෙරෙන කාර්යය වෙනස් වේ. එම අපිරිසිදු රුධිරය හෘදය වෙත ගමන් කිරීමේ කාර්යය වෙනස් වේ. ශිරා තුළ පිහිටි කපාට අක්‍රිය වීම මෙයට හේතුවය. අප සිටගෙන සිටින අවස්ථාවක වුවද අපගේ පාදවල තිබෙන අපිරිසිදු රුධිරය ශරීරයේ ඉහළින් තිබෙන හෘදය වෙත ගමන් කරයි. ඒ සඳහා උපකාරී වන්නේ ශිරා තුළ ඇති කපාට සතු අපූරු ක්‍රියාකාරිත්වයය. පාදවල මස්පිඩු තෙරපීම නිසා ශිරා තුළ ඇති කපාට ඉහළට ඇරී අපිරිසිදු රුධිරය ඉහළට ගමන් කරයි. සාමාන්‍යයෙන් එම රුධිරය පහළට ගමන් කරන්නේ නැත. ඒ අපිරිසිදු රුධිරය පහළින් ඉහළට ගමන් කරන විට ශිරා තුළ ඇති කපාට වැසී රුධිරය පහළට ගමන් කිරීම වැළකෙන නිසාය. ශිරා තුළ ඇති කපාට වල ක්‍රියාකාරිත්වය අඩපණවූ විට පාදවල සිට ඉහළට ගමන් කරන රුධිරය නැවත පහළට ගමන් කරයි. එහි ප්‍රතිඵලය වන්නේ ශිරා තුළ අපිරිසිදු රුධිරය එක්රැස් වීමයි. රුධිරය එක්රැස්වූ එම ශිරා දික්වී ඇදවී විකෘති වේ. එවිට එම ශිරා සම තුළින් පිටතට පෙනෙන්නේ ගැටගැසී ඇති ආකාරයටය.

මෙම රෝගයට යමෙකු ගොදුරු වූ විට ශිරා තුළ පීඩනය වැඩි වේ. ඇතැම්විට එය රසදිය මිලිමීටර් 200 ක අගයටත් වඩා වැඩි වේ. පාදවල විකෘති වූ නහර ඇතිවන්නේ එම පීඩනය නිසාය. රෝගය උත්සන්න වූ විට නොදැනුවත්වම පාදවලින් රුධිරය පිටතට ගලන්නේ ද එම ශිරා තුළ පීඩනය වැඩි වී රුධිර සෛල තරලය පිටතට පැමිනීම නිසාය. රෝගයට ගොදුරු වූ විට පාදවල ඇති ශිරා තුළ අපිරිසිදු රුධිරය පිරී තිබීම නිසා ඒවාට පිරිසිදු රුධිරය ඒම වලකී. එම ශිරා සහිත ප්‍රදේශයේ සම කළු පැහැ ගැන්වෙන්නේ ඒ නිසාය.

ශිරා තුළ තිබෙන කපාට අක්‍රිය වීමට බලපාන ප්‍රධානම හේතුව වන්නේ එම කපාට මත අධික පීඩනයක් ඇතිවීමය. ඉහතින් සඳහන් කළ ආකාරයට කාන්තාවන් අතර මෙම රෝගය බහුල අතර ඒ අතරින් ද දරුවන් ලද මවුවරු අතර මේ රෝගය බහුල බව පෙනී යයි. ගර්භනී කාන්තාවගේ පාදවල තිබෙන රුධිර නාලවල පීඩනය ඉතා වැඩි වේ. මොවුන්ගේ පාද ඉදිමෙන්නේ මේ නිසාය. ගර්භනී සමයේ ඇතිවන මේ තත්ත්වය පසු කාලයේ නහර ගැටගැසීමේ රෝගය ඇතිවීමට බලපෑ හැක.

ඉහත කාරණයට අමතරව ශිරා තුළට විෂබීජ ඇතුළු වීම නිසා ද ශිරාවල කපාට අක්‍රිය වීමට හේතු වේ. එම ප්‍රධාන හේතු දෙකට අමතරව පාදවල නහර ගැටගැසීමේ රෝගය ඇතිවීමට පාරම්පරික බලපෑම ද හේතුවන බව පැහැදිලිය.

ප්‍රධාන වශයෙන් ශිරා ග්‍රන්ථි රෝගය ආකාර දෙකකි. එනම්,

1. පාද ආශ්‍රිත ශිරා විශාල ලෙස ඉදිමී දඟර ගැසී සමෙන් ඉදිරියට නෙරූ ස්වභාවයකින් යුක්ත අවස්ථාව

2. පාද ආශ්‍රිත ශිරා ඉතා සියුම් ආකාරයට ප්‍රමුඛ වන අවස්ථාව

ආයුර්වේද මතානුකූලව කුපිත වූ වාත දෝෂය විසින් රුධිර නාල වල තද ස්වභාවයක් ඇතිකර රුධිර කැටිගැසීමකට මග පාදා ශිරාව අවරෝධ වී ශිරා ග්‍රන්ථි ඇතිවේ.

ශිරා ග්‍රන්ථි ඇතිවීමට බලපාන හේතු

* දිග වේලාවක් සිටගෙන සිටීම

* අධික තරබාරු බව

* හෝමෝන අසමතුලිතතාව

* ගර්භනීභාවය

* ව්‍යායාම අඩුකම

* අධිකව තද වූ ඇඳුම් ඇඳීම

* වෙහෙසකාරී ක්‍රියාවල නිරත වීම

ශිරා ග්‍රන්ථි රෝගයේ ලක්‍ෂණ

* පාද ආශ්‍රිත ශිරා ඉදිමී, දඟර ගැසී සමෙන් ඉදිරියට නෙරූ ස්වභාවයකින් යුක්ත වීම

* ඒවා නිල්, තද දම්, දුඹුරු හෝ රතු පැහැයෙන් දිස්වීම

* පාද වේදනාව

* පාදවල බර බව

* පාද ඉදිමීම

* එකවර සිටගැනීම වැනි ඉරියව් වලදී කෙණ්ඩා පෙරලීම.

* කැසීම

රෝගයේ මුල් අවස්ථාවේදී වේදනාව එතරම් පහල නොවන හෙයින් රෝගීන් මෙම රෝග තත්ත්වය නොසලකා හරින තත්ත්වක් දැකගත හැක. නමුත් මෙම රෝග ලක්‍ෂණ පහළවන මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම ඉතාම අත්‍යාවශ්‍ය කටයුත්තකි. තවද මුල් අවස්ථාවේ ප්‍රතිකාර කර සුවකර ගැනීම පහසුය. තවද එමගින් රෝගය නිසා ඇතිවන භයානක උපද්‍රව තත්ත්වයක් ද වලක්වා ගත හැකිවේ.

රෝගය නිසා ඇතිවිය හැකි උපද්‍රව

* ඇවිදීමේ අපහසුව

* සමේ තුවාල ඇතිවීම – විශේෂයෙන් මෙම තුවාල පිටි පතුල ආශ්‍රිතව ඇතිවේ.

* සමේ තුවාල දිගුකාලීනව පැවතීම හේතුවෙන් පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක.

* සුළු අනතුරකදී පවා අධිකව රක්තය ස්‍රාවය වීම.

ශිරා ග්‍රන්ථි රෝගය සඳහා ප්‍රතිකාර සැලකූ කල්හි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඒ සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ පවතින බව කිව යුතුය. ශල්‍යකර්ම වලින් තොරව රෝගය සුවකර ගැනීමට හැකිවීම එම ප්‍රතිකාරයන්හි සුවිශේෂීභාවයයි. ඒ සඳහා අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර ආලේප, පත්තු, සහ තෙල් වර්ග යොදා ගන්නා අතර පංච කර්ම ප්‍රතිකාර ලෙස රක්තමෝක්‍ෂණ කර්මය යොදා ගනු ලැබේ. මේ ප්‍රතිකාර සඳහා රෝගියාගේ උනන්දුව සහ කැපකිරීම මගින් රෝග තත්ත්වය මුළුමනින්ම සුවකර ගැනීමට ඉඩ සැලසේ.

* මීට අමතරව රෝගය වළක්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු කරුණු:-

1. දිගු වේලාවක් එකම ආකාරයට සිටගෙන සිටීමෙන් වැළකීම, (මෙහිදී විටින් විට දෙපාවලට විවේකයක් ලබාදීමට ඉරියව් වෙනස් කරමින් හිඳගැනීම, දෙපා දිගුකර සිටීම වැනි දේ කළ හැක.)

2. නිදා ගැනීමේදී සහ හිඳ ගැනීමේදී පාද තරමක් ඉහළට ඔසවා තබා ගැනීම.

3. පාද පහල සිට ඉහළට වෙළුම් පටියකින් වෙලා ගෙන සිටීම.

4. (කූඩැල්ලන් මගින් සිදුකරන ප්‍රතිකාර)

ආයුර්වේද වෛද්‍යාචාරිණී

එච්. ඖෂධී රාජපක්‍ෂ

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

නො. 726, නුවර පාර, තොරණහංදිය, කැලණිය.



උපුටා ගැනීම-http://subanetha.com