ලොව බලගතු ශක්තියක් ඇති ”සෝම ශාකය” අපේ රටේත් තිබෙනවාද..? මොකද්ද ශාකයේ ඇති අසීමිත බලය..? - මරුසිරා - Marusira

Latest

2017

Monday, June 4, 2018

ලොව බලගතු ශක්තියක් ඇති ”සෝම ශාකය” අපේ රටේත් තිබෙනවාද..? මොකද්ද ශාකයේ ඇති අසීමිත බලය..?


ලොව බලගතු ශක්තියක් ඇති ”සෝම ශාකය” අපේ රටේත් තිබෙනවාද..? මොකද්ද ශාකයේ ඇති අසීමිත බලය..?

අසාමාන්‍ය කායික සහ මානසික ශක්තීන්ගෙන් යුත් මිනිසුන්, අසාමාන්‍ය රූපකායන්ගෙන් යුත් දෙවිවරුන් සේම මිහිපිට නොමැති ආකාරයේ සතුන් පිළිබඳවදවත් පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වෙයි. එහෙත් ඒවායෙහි කිසියම් සත්‍යතාවයක් තිබේද යන් විමසා බැලීමට කිසිවෙකුත් උත්සාහ නොකරති. එහෙත් මීට වසර පන්දහසකට පෙර භාරතයේ ලියැවුණු බව පැවසෙන ‘සෘග් වේදයෙහි’ සඳහන් එක්තරා ශාකයක් තවමත් මිහිපිට නිරුපද්‍රිතව ඇතැයි පෙර අපර දෙදිග බොහෝ දෙනෙක් විශ්වාස කරති. එය හැඳින්වෙනුයේ ‘සෝම ශාකය’ යනුවෙනි. දැනට මිහිපිට ඇති දිව්‍යමය ශාකයක් ලෙස හැඳින්වෙන මෙය අපරටේද ඇති බවට ඇතමුන් තුළ විශ්වාසයක් පවතී.

මෙම ‘සෝම ශාකය’ මිහිපිට නොමැති සුවිශේෂ ගුණාංගයන්ගෙන් යුතු බවත් එය ආකාශ බලය සහ ආත්මීය බලය සහිත විස්මිත ගුණ දෙන ශාකයක් බවත් වේද ග්‍රන්ථ වල සඳහන්ය. එමෙන්ම මෙය පැරණි වෛදිග යාග හෝම වලදී හෝම සඳහා යොදාගත් බැවින් මෙය හෝම වශයෙන් සැලකී පසුව එය ‍’සෝම’ නමින් හැඳින්වෙන්නට වූ බව පැරණි පොත පතෙහි සඳහන්ය.

ඇතැමෙකු පවසන අන්දමට මෙම ‘සෝම ශාකය’ මනඃකල්පිතයක් වුවද ඒ පිළිබඳව වේද ග්‍රන්ථ වල සඳහන් ලක්ෂණ අනුව එය තවමත් මිහිපිට තිබිය හැකි කිනම් හෝ ශාකයක් විය හැකි යැයි මෑත අතීතයේ සිට ඇතැම් බටහිර පඬිවරුන් පවා විශ්වාස කොට තිබුණි.

ආයුර්වේදයෙහි ‘සෝම’ යනුවෙන් ශාකයක් පිළිබඳව සෘජු සඳහනක් නැත. එහෙත් එහි ‘සෝම ලතා’ නම් ශාකයක් පිළිබඳව සඳහන්ය. එම ‘සෝමලතා’ ශාකය ephedra gerardiana යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හැඳින්වේ. මීට අමතරව Sarcostemmima acidum යනුවෙන් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන ශාකයද ‍’සෝමලතා’ යනුවෙන් හැඳින්වෙන අතර එය පැරණි වෛදික යාග හෝම සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් ගත් බවද කියනු ලැබේ.







එහෙත් මෙම ‍’සෝම’ ශාකය අප ඉහත සඳහන් කළ ‘සෝමලතා’ ශාකය නොවන්නේ සෘග්වේදයෙහි එම සෝම ශාකය පිළිබඳ විස්තර පැහැදිළි වශයෙන් සඳහන් වන බැවිනි. සෘග්වේද විස්තරයට අනුව එය ජලජ ශාකයක් බව බොහෝ දුරට අනුමාන කළ හැක. එහි දැක්වෙන සෙසු විස්තර අනුව එය උක්, උණ හෝ බට විශේෂයක් යැයි ද බොහෝ දෙනෙක් අනුමාන කරති. ඒ අනුව මෙය Saccharum arundinaceum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඇතමුන්ගේ මතයක් වී තිබේ. මේ අතර amanita muscaria යනුවෙන් හැඳින්වෙන බිම් මල් විශේෂයද ‘සෝම’ ශාකය ලෙස අනුමාන කෙරෙන අතර මෙය දුරාතීතයේ යාග හෝම සඳහාද යොදා ගත් බව මානව විද්‍යාඥයෝ අනුමාන කරති.

මේ අතර ‘සෝම’ යනුවෙන් හැඳින්වෙනුයේ එක් ශාක වර්ගයක් නොව සෞම්‍ය ගුණ දෙන ශාක වර්ග කිහිපයක්ම බවට ද අනුමාන කෙරෙන අතර ඒවා සහ මිනිසාගේ ආධ්‍යාත්මික ශක්තිය අතර පැහැදිළි සබැදියාවක් ඇතැයි පැවසෙයි. පෙරදිග ඉගැන්වීම් වලට අනුව සඳ යනු සෞම්‍ය ගුණයේත්, ආධ්‍යාත්මයේත් සංඛේතයයි. ඒ අනුව නිසැක ලෙසම මෙම ‘සෝම’ ශාකයකද සෞම්‍ය ගුණයෙන් යුතු වනු ඇත.



තවද ශ්‍රී ලංකාවේ නැතත් ‍’සෝම පානය’ නම් පාන විශේෂ ඉන්දියාවෙහි බහුලවම භාවිතා වෙයි. ඒ සඳහා යොදාගනු ලබන මූල ද්‍රව්‍ය අනුව එය එක් නිශ්චිත ව‍ට්ටෝරුවක් අනුව සැකසෙන බවක් නොපෙනෙයි.

ඇතමුන් පවසන අන්දමට සැබෑ ‘සෝම පානය’ යනු යමෙකු මත් බවට පත් කරවන ශාක සාර සංයෝගයකි. එමෙන්ම මෙය සුරා ගණයට අයත් වන්නකි. එහෙත් ඔවුන්ගේ මතය නිවැරදි නම් උක්වලින් පෙරා ගන්නා ‘ඉක්ෂුපාක’ ගණයේ මත්පැන් ද ‘සෝම’ ලෙස පිළිගැනීමට අපට සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් තවත්දුරට විස්තර කළ‍හොත් උක් සීනි වලින් පෙරාගන්නා ‘කසිප්පු’ වැනි ගමේ ගොඩේ පාන වර්ගද ‘සෝම පානය’ ලෙස තර්ක කිරීමට හැකි වනු ඇත.

නමුත් ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥාණයේ දී සුරාව උෂ්ණ ගුණයෙන් යුතු වන අතර නියත ලෙසම එය ‘සෝම පානය’ වීමට කිසිසේත්ම ඉඩක් නැත. මන්ද යත් ‘සෝම පානය’ ඒකාන්ත ලෙසම ශීත ගුණයෙන් විය යුතු බැවිනි. මේ අතර ‘සෝම පානය’ යනු කන්සා පැලෑටියෙන් ලබා ගන්නා ශාක සාර වලින් නිපදවා ගන්නා බීම වර්ගයක් බවටද ඇතැම්හු මත පළ කරති. එහෙ



ත් ආයුර්වේදයේ නිසි මාත්‍රාවකින් ඖෂධ මය ව‍ශයෙන් පමණක් භාවිතා කළ යුතු මෙම ශාකය පානයක් වශයෙන් භාවිතයට ගැනීමට කිසිදු ආයුර්වේදමය අවසරයක් නොමැත.

ඇතැමුන් පවසන අන්දමට මෙම ‍’සෝම ශාකය’ ඉංග්‍රීසි යටත් විජිත යුගයේ සම්පාදනය කරන ලදුව පසුව යාවත්කාලීන කරන ලද ශ්‍රී ලාංකීය ශාක නාමාවලියෙහි වෙනත් නමකින් හැඳින්වී තිබෙන්නට පුළුවන. එහෙත් ඒවායේ අඩංගු ‘‍සෝම’ ශාකයේ ඇති ස්වභාවයන් ගති ලක්ෂණ සහ ද්‍රව්‍ය ගුණ පිළිබඳ විශ්ලේෂණයක් කොට ‘සෝම’ නමින් හැඳින්වෙන ශාකය වශයෙන් නිවැරදිව හඳුනාගතහැකි ශාකයක් අප රටේ තිබේ දැයි විමසා බැලීමට විද්වතුන් උත්සාහවත් විය යුතුය. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්න කීමට අප කිසිවෙකුටවත් නොපුළුවන.‍

ආයුර්වේද වෛද්‍ය සී.ඩී.‍තේනුවර