ආත්ම දෙකකදීම අකල් මරණයන්ට මුහුණ දුන් දරණාගම හිමිගේ මෙතෙක් හෙළි නොවූ ජීවිත කතාව කිසිවකු නොඇසූ විශ්මිත කතාව - මරුසිරා - Marusira

Latest

2017

Monday, June 4, 2018

ආත්ම දෙකකදීම අකල් මරණයන්ට මුහුණ දුන් දරණාගම හිමිගේ මෙතෙක් හෙළි නොවූ ජීවිත කතාව කිසිවකු නොඇසූ විශ්මිත කතාව



ආත්ම දෙකකදීම අකල් මරණයන්ට මුහුණ දුන් දරණාගම හිමිගේ මෙතෙක් හෙළි නොවූ ජීවිත කතාව කිසිවකු නොඇසූ විශ්මිත කතාව

ගිය ආත්මේ මම මහණවෙලා හිටියේ එතකොට මගේ බත් එකට වස දාලා දුන්නා මම මැරුණා ඊට කලින් ආත්මේ කන්දකින් පහලට තල්ලු කරලා.. දරණාගම හිමියන් පුනුරුත්පත්තිය පිළිබද කතාව මෙන්න

බෞද්ධ පුනරුදාහය සඳහා දායකත්වය සපයන මහා සංඝරත්නය හදිස්‌සියේ අපවත් වන බව ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව තරයේ අදහන සත්‍යයකි. 1986 වසරේ මැයි මස 26 වැනිදා පානදුරේ අරියධම්ම හාමුදුරුවන් වහන්සේ 47 වැනි වියේදී අපවත් වීමෙන් පසු ගංගොඩවිල සෝම හිමි 2003 දෙසැම්බර් 12 වැනිදා ද, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 2015 නොවැම්බර් 08 වැනිදා ද හදිසියේ අපවත් වූහ. මේ ලැයිස්‌තුවේ සිව් වෙනියා බවට පත් වූයේ, සේරුවිල මංගල රජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති ස්‌වාමීන් වහන්සේය.

2016 මැයි දෙවැනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අවසන් සුසුම් හෙළුහ. මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නා හිමියන් ද පන්සලේම සිටි හස්‌තියකුගේ ප්‍රහාරයට ලක්‌ව අපවත් වීම සිදු විය. කොළඹ හත, ආර්.ජී. සේනානායක මාවතේ පිහිටි, සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම ස්‌වාමීන්වහන්සේ අයත් වන්නේ ඒ ගොනුවේ හයවැනි තැනටය.

දරණාගම කුසලධම්ම හිමියන් පිළිබඳව රටේ නම කියවෙන්නට පටන් ගත්තේ උන්වහන්සේ විසින් බෞද්ධයා නාලිකාව ආරම්භ කිරීමත් සමඟය. සැම හිත සුව පිණිස යන තේමා පාඨයෙන් බෞද්ධයා ගුවන් විදුලිය සහ රූපවාහිනි නාලිකාව උන්වහන්සේ විසින් ආරම්භ කිරීමෙන් පසුව මෙරටේ නිවාසවල දහවල් කාලයේදී ක්‍රියාත්මක වූයේ එම නාලිකාය. රේටින්ස්‌ හෙවත් විද්යුත් මාධ්‍ය පිළිබඳ ශ්‍රාවක සහ ප්‍රේක්‌ෂක දර්ශකයන්හි බෞද්ධයා නාලිකාවට කිසිම වැදගත්කමක්‌ හිමි නොවුණත්, මේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක්‌ සිය දිවා කාලය නිවසේ ගත කරනු ලැබුවේ එම නාලිකාව, සාධුකාර දෙමින් ශ්‍රවණය කරමිනි.

එවැනි මහඟු සේවයක්‌ ධර්මය සඳහා සිදුකරන අද උන්වහන්සේගේ හදිස්‌සි අභාවය රටම කලඹා තිබේ. දරණාගම යන ග්‍රාමය කොළඹට නුදුරෙන් බියගම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබුණත් එවැනි ගමක්‌ රටේ පිහිටා ඇති බව දැන සිටියේ, ඒ ගමේ සහ අවට ගම කිහිපයක උදවිය පමණකි. දරණාගම නාමය රටට ගෙන යන ලද්දේ, කුසලධම්ම හිමිපාණන් වහන්සේ විසින්ය.

හිරු රැසේ පීඩාව දැඩිව දැනෙන කාලයක වුවද නිල්ල නිලමින් සිනාසෙන තරමේ සෞම්‍ය ගුණයක්‌ ඒ ගම සතු විය. දරණාගම කුසලධම්ම හිමියන්ගේ අපවත්වීමත් සමඟ අප ඒ ගමට යන විට, ගහකොළ සමඟ තරගයට මෙන් නැඟී සිටිනා කහ කොඩි යාය සලකුණු කරමින් සිටියේ, එදා ආනන්ද කුමාරපේලි ලෙස උන්වහන්සේ මේ ගමේ ගත කරන ලද කාලය මෙනෙහි කරමින් සමස්‌ත ගමම සංවේගයට පත්ව සිටින ආකාරය.

කඩුවෙල- ගම්පහ බස්‌ මාර්ගයේ සියඹලාපේ හන්දියට මදක්‌ එහායින්, වැලිවේරිය පැත්තට යන විට, වම් පසට හැරෙන්නට ඇති මාර්ගය වැටී ඇත්තේ දරණාගමටය. මීට දශක පහකට පෙර උන්වහන්සේ මේ ගමට බිහිවන විට, එය හද්දා පිටිසර ගමකි. ගොවිතැන් බතක්‌ කරගෙන, කුලියක්‌ මලියක්‌ කරගෙන සිය දෛනික ජීවිතය ගෙවනවා හැර, සංකීර්ණ ජීවන රටාවක්‌ එම ගම්වාසින්ට තිබුණේ නැත.

ආනන්ද නෙවිල් කුමාරපේලි, පවුලට ඉපදෙන්නේ කුළුදුලේමය. ඒ 1960 ජුලි මස තිස්‌වැනිදාය. පියා, ගොවියෙක්‌ සේම, නිවාස පින්තාරු කරන රැකියාව කරමින් පවුල නඩත්තු කරමින් සිටියේය. ගුණසේන කුමාරපේලිගේ භාර්යාව වූ, කරලයින් නෝනා බාලසූරිය සිය දරුවන් හතරදෙනා හදා වඩා ගනිමින් නිවසේ උයන පිහන කටයුතු හි යෙදුණේය. කිරි වරා, ආහාර කැවිය යුතු කාලය පැමිණ තිබුණත්, බත් ඇටයක්‌ හෝ කටේ නොතබන්නට ආනන්ද දරුවා වග බලා ගැනීම, අම්මාට තිබූ විශාලම හිසරදයක්‌ විය.

කිසිවිටකත් බත් නොකෑ ඔහු වෙනුවෙන්, ධාන්‍ය, අල, බතල, කොස්‌ දෙල් වැනි ආහාර වෙනම සකසා දෙන්නට අම්මාට සිදුවිය. වෙනකක්‌ තබා පිට්‌ටු වැනි ආහාර පවා ආනන්ද අප්‍රිය කළේය. මේ අකමැත්ත පිළිබඳව දිගින් දිගටම වැඩිහිටියන් ආනන්දගෙන් විමසා සිටියත්, ඒ ගැන පිළිතුරක්‌ නොදී නිහඬව සිටීම ඔහුගේ සිරිත විය. නිවස ආසන්නයේ පිහිටා තිබුණු සිය නැන්දනියගේ ගෙදරට යැමට කුඩා ආනන්ද ප්‍රිය කළේය. අනිකුත් දරුවන් පන්දුවක්‌ සහ පොල්පිති පිත්තක්‌ රැගෙන ක්‍රිකට්‌ ක්‍රීඩා කරද්දී, සිය නිවසට වී වැලි ගොඩවල් ගසමින් ආනන්ද පුතා චෛත්‍යයන් ඉදිකරනා අයුරු ඩී.වී.වී. හෙට්‌ටිආරච්චි නැන්දනිය, අදත් සිහිකරන්නේය.

එක්‌ දිනක්‌ ආනන්ද පුතා නැන්දනියගේ ඇඟේ දැවටෙමින් අමුතුම කතාවක්‌ කියන්නට පටන් ගත්තේය. ‘පුතේ… මයේ පුතා මොකද මේ බත් කන්නේ නැත්තේ…’ යෑයි අසද්දී වෙනදාට නිහඬව සිටිනා දරුවා, වචන කිහිපයක්‌ මුමුණන්න පටන් ගත්තේය. ‘මාව ගිය ආත්මේ මැරුවා…’ හිමින් හිමින් මිමිණූ ඒ වචන නැන්දනියගේ හදවත සහ ගත කිළිපොලා යවන්නට පටන් ගත්තේය. මෙසේ දින කිහිපයක්‌ම නැන්දනිය සමග තොඳොල් කතාවෙන්ම, තමන්ගේ ගිය භවය පිළිබඳව ආනන්ද පුතා කියන්නට පටන් ගත්තේය.

‘නැන්දේ… ගිය ආත්මේ මම මහණවෙලා හිටියේ… එතකොට මගේ බත් එකට වස දාලා දුන්නා. මම මැරුණා…’ දරුවා බත් අප්‍රිය කරන්නේ ඇයි දැයි වැඩිහිටියෝ එදා තේරුම් ගත්හ. තවත් දිනක්‌ නැන්දනිය සමග හුරතල් වෙමින් සිටියදී ‘පුතේ… උඹේ ගිය ආත්මේ විස්‌තරේ ආයෙත් කියහන්කෝ…’ යෑයි නැන්දනිය ඇසුවේ දරුවා එදා කියූ කතාව, සෙල්ලමට කියූවක්‌ දැයි දැන ගැනීමේ අටියෙනි. ‘මම එදා නැන්දට කිව්වේ… මගේ බත් එකට වස දාලා දීලා මාව මැරුවා කියලා…’

‘ඒකනේන්නං දරුවෝ … මට ඒ කතාව අමතක වුණානේ…’

‘නැන්දේ… ඊට ඉස්‌සෙල්ලා ආත්මෙත් මම මහණ වෙලා හිටියා… ඒ ආත්මේ මාව මැරුවේ කන්දකින් පහළට තල්ලු කරලා.’

කුඩා දරුවකු මෙසේ කියාගෙන යැම අහම්බයක්‌ නොවන බව ඒ වන විට සියලු දෙනා තේරුම් ගෙන සිටියහ.

1968 වර්ෂයේදී යටිහේන කනිෂ්ඨ විද්‍යාලයට ඇතුල්වූ ආනන්ද පාසල නිමවා නිවසට පැමිණ සිදු කරන්නේ, වැලිගොඩවල් ගසා චෛත්‍ය සෑදීමය. සම වයසේ ගමේ මිතුරන් සෙල්ලම් ගෙවල් ඉදිකරමින් විනෝද වෙද්දී, අම්මාගේ චිත්තයක්‌ සිවුරක්‌ සේ ඇඟ ලාගෙන, නිවසේ ලොකු කුඩා කාටත් බණ කීම ආනන්ද දරුවාගේ සෙල්ලම විය. දෙල් කොළයක්‌ අවානක්‌ සේ ගෙන නිරන්තරයෙන් ආනන්ද කරන කටයුත්ත, සංසාර පුරුද්දක්‌ බව වැඩිහිටියෝ මේ වන විට අවබෝධ කරගෙන සිටියෝය.

ආනන්දට වයස අවුරුදු හතක්‌ පමණ වන කාලයේදී ඔහුගේ මාමා මිය ගියේය. ‘අපේ මහත්තයා නැති වුණා… එතකොට ආනන්ද පුතාට වයස අවුරුදු හත අටක්‌ විතර ඇති. හත් දවසේ බණ කියන්න වැඩියේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. උන් වහන්සේ බණ දේශනා කරලා, වැඩියා විතරයි, ආනන්ද පුතා, පුටුවක්‌ අරගෙන වාඩිවෙලා, ඉන්න පිරිසට ඉදගෙනම ඉන්න කිව්වා. අර හාමුදුරුවෝ දේශනා කරපු බණ, එහෙම්මම මතක තියාගෙන ඉදලා, පුතා කට්‌ටියට ආයෙත් බණ කියන්න ගත්තා… මේ නිසා පුතාට බණ කියන්න පුළුවන් බව ගමම දැන ගත්තා…’ දරණාගම කුසලධම්ම හිමියන්ගේ ළමා කාලය පිළිබඳව හෙවත් ආනන්ද කුමාරපේලි දරුවා පිළිබඳව, හෙට්‌ටිආරච්චි නැන්දනිය සිය මතකයන් ගෙන හැර දක්‌වන්න ලද්දේ එසේය.

පස්‌වැනි පන්තියෙන් පසු දරණාගම මහා විද්‍යාලයට ඇතුල්වූ ආනන්ද, ඉගෙනීමෙහි දක්‌ෂ ශිෂයෙකු විය. ඔහුගේ ඥාති සහෝදරයකු සහ දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ අකාලයේ ජීවිතයෙන් සමුගන්නා තෙක්‌ම, උන්වහන්සේ සමග ලබැදී දයාවෙන් ඇසුරු කරන ලද හේමන්ත අධිකාරී මහතා සඳහන් කරන්නේ ආනන්ද මල්ලි, සම වයසේ දඟකාර ගැටයන්ට වඩා වෙනස්‌ ආරක්‌ ඇතිව සිය ජීවිතය පවත්වාගෙන ගිය බවය.

‘මල්ලී පොඩි කාලයේ ඉඳලාම, අපේ ගෙදර එනවා… හාමුදුරුවන්ගේ ආච්චියි, අපේ ආච්චියි අක්‌කයි, නංගියි. ඒගොල්ලන්ගේ ආච්චි එක්‌ක, සති අන්තයට අපේ ගෙදර ඇවිල්ලා, දවස්‌ දෙක තුන මෙහෙ නැවතිලා ඉන්නවා… ආනන්ද මල්ලීගේ එකම විනෝදාංශය බණ කියන එක. එයාට වෙන සෙල්ලමක්‌, දඟ වැඩක්‌ කරන්න අවශ්‍ය නැහැ… බණ කියන්නම තමයි ආශාව… අපේ ගෙදර සිවුරකුයි වටා පතකුයි තිබ්බා… එයා මෙහෙ ආව ගමන් කරන්නේ සිවුර ඇඳගන්න එක. ඊට පස්‌සේ වටා පත අරගෙන, අපේ ආචිචිලාව, අම්මලාව වාඩි කරගෙන බණ කියනවා. එයාගේ ළමා කාලයේදීම අපි තේරුම් ගත්තා,

එයා මහණ වෙන ළමයෙක්‌ කියලා. මල්ලීට හොඳට බණ කියන්න පුළුවන්… එයාට තිබ්බ ධර්ම දැනීම කියන එක මේ ආත්මයේදී ගත්ත එකක්‌ නෙමෙයි කියන එක, අපිට හොඳටම තේරුණා… ඒ කාලයේ ආනන්ද මල්ලී කියන බණ ඇහැව්වාම අපි නෙමෙයි, වැඩිහිටියොත් පුදුම වෙනවා… මේ පොඩි දරුවෙකුට මෙච්චර දහම් දැනීමක්‌ කොහෙන්ද කියලා… එයාට පොඩි කාලේ ඉඳලම තිබ්බේ මහණ වෙන ආශාවක්‌… ඒක ඒකායන ආශාවක්‌… වෙන ආශාවක්‌ තිබ්බෙම නැහැ.’

ආනන්ද පුතු

ගේ මහණ වෙන ආශාව සඳහා ගෙදරින් එතරම් කැමැත්තක්‌ ලැබුණේ නැත. පවුලේ වැඩිමල් පුතු මහණ කරවීම සඳහා අම්මාගේ සහ තාත්තාගේ අකමැත්තක්‌ තිබුණු ද සිය ඒකායන අරමුණ ආනන්ද අත් නොහැරියේය.

මනෝඡ් අබයදීර

කමල් බෝගොඩ