
සකු නාමය සහ අනෙකුත් නාමයන් පිළිබඳ තොරතුරු අප්‍රකටය. කොක්මොට ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පැළෑටියක් වශයෙන් හඳුනාගත හැක.
රතු දත්ත පොතට ද අනුව කොක්මොට ශාකය වඳවීමේ සම්භාව්‍යතාව වැඩි ශාකයක් ලෙස හඳුනාගෙන ඇත.
අතීතයේ සිටම පාරම්පරික හෙළ ඉසිවරු විසින් ඖෂධීය ගුණ හඳුනාගෙන යෝග සඳහා භාවිතා කර ඇත.
දැනට මෙම ශාකය වඳවීමේ තර්ජනයට ලක්ව ඇත්තේ වල් පැළෑටියක් ලෙස හඳුනාගෙන තිබීම නිසාය. මෙය ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක් ලෙස හඳුනා ගැනීම වැදගත් වේ.
කුඹුරු ආශ්‍රිත බිම්වල වැවෙන කොක්මොට විශාල වශයෙන් පැතිරීම නිසා ගොයම් වගාවට අහිතකර වේ. එහෙත් සුදු පාට මලින් පිරුණු කොක්මොට ශාක පරිසරයට එක්කරන චමත්කාර ප්‍රිය දසුන කා හටත් අමතක කළ නොහැක. ඒ තරමටම සුන්දරය.
වැවෙන ප්‍රදේශ
ශ්‍රී ලංකාවට ආවේණික ශාකයකි. මීටර් 2000-2500 පමණ උස් වූ දිය මුසු බිම් වල විශේෂයෙන් වගුරු සහිත තෘණ බිම් ආශ්‍රිතවත් වැව් සහ ඇල මාර්ග දෙපසත් දක්නට ඇත. කඳුකර ප්‍රදේශයේ විශේෂයෙන් මහනුවර, රත්නපුර, නුවරඑළිය, හෝර්ටන් තැන්න අඹේවෙල ඔහිය කඳපොළ ආදී ප්‍රදේශවල දැකිය හැකිය.
කොක්මොට ශාකයේ ස්වරූපය
දිය මුසු බිම් ප්‍රදේශවල වැවෙන කුඩා පැළෑටි විශේෂයක් වන කොක්මොට ඒකබීජ පත්‍රී ශාකයකි. බහු වාර්ෂික පඳුරු ආකාරයේ ඍජු ශාකයෙකි. අඟල් 2 පමණ දිගැති සිහින් කොළවලින් යුක්ත පඳුරක් ආකාරයේ පැළෑටියකි.
මෙම ශාකයේ පත්‍ර දම් පැහැති කොළ පැහැයෙන් යුක්ත ය. ශාකය කොළ 04 ක් 06 පමණක් වූ පඳුරු ආකාරය දක්නට ලැබෙන අතර කෙන්දක් ලෙස ඉහළට නැගුණු කීලයක අග සුදු පැහැති පබළුවක් ආකාරයේ මලක් පිපී තිබෙනු දක්නට ලැබේ.
සිංහල නාමය – කොක්මොට
(අනෙකුත් නාමයන් හා ද්‍රව්‍ය ගුණ සොයාගත නොහැක.)
කොක්මොට ශාකයේ උද්භිද විද්‍යා නාමය Eriocaulon Ceylanicum Komicke වේ. මෙහි කුලය Eriocaulaceae වෙයි.සම්පූර්ණ ශාකයට ඖෂධීය සහ ආහාරමය අවශ්‍යතා සඳහා භාවිතා වේ.
ආහාරමය වටිනාකම
කොක්මොට පැළෑටියේ මැල්ලුම සහ ව්‍යාංජන සකසා ආහාර සඳහා එක්කර ගනු ලැබේ. කැඳ වශයෙන්ද ප්‍රයෝජනයට ගත හැක.
ඖෂධීය වටිනාකම
කොක්මොට ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනුයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ දීය. අතීතයේ සිටම ඖෂධ සඳහා පාරම්පරික වෙදැදුරන් කොක්මොට භාවිතා කර ඇත.
කොක්මොට ශාකයේ ප්‍රභේද 2 ක් දක්නට ලැබේ. කොළ මඳක් විශාල වර්ගය සහ කොළ කුඩා වර්ගය වශයෙනි.
කොක්මොට රසයෙන් කටුක වන අතර තික්තද වේ. ගුණයෙන් ලඝු හා රුක්‍ෂ වේ. වීර්යයෙන් ශීත ද වේ. විපාකයෙන් කටුකය.
ශරීරයේ දෝෂ අනුව රෝග සුවයට කොක්මොට ශාකයේ ගුණ
දෝෂ අනුව මෙහි තික්ත රස කටුක බව ඇති හෙයින් සෙම ශමනය කරන අතර ශීත වීර්යය නිසා පිත් සමනය කරයි. අක්මා රෝග නිවාරණ ගුණය ද ශරීරයේ දැවිලි දාහය නිවන ගුණය ද ඉදිමුම් නසන ගුණය ද ලේ වඩන ගුණය ද පවතී.
කොක්මොට උපයෝගී කරගනු ලබන රෝග අවස්ථා රාශියකි. අක්මා රෝග මුත්‍රදාහය ශ්වේද ප්‍රදර, ශරීරික උෂ්ණාධික බව, පිත් රෝග, දාහ, පිපාස, වාත රෝග උන්මාද ප්‍රමේහ රෝග අතුල් පතුල දැවිලි ලිංගික බෙලහීනතා ආදියට ගුණ දෙයි.
ප්‍රමේහ රෝග හා ලිංගික දුර්වලතා සඳහා – කොක්මොට කැඳ ඉතා ගුණදායකය.
පාණ්ඩු රෝග සඳහා – කොක්මොට කැඳ හීනටි සහලෙන් සාදා බීමට දීම.
සෙංගමාල රෝගයට – කොක්මොට කැඳ කුරුමිණි මාන්දමට ඉතා ගුණයි. කුඩා ළමුන්ගේ කුරුමිණි මාන්දමට කොක්මොට කොළ කැඳ සාදා දීම.
කුෂ්ඨ දද නිසා ඇතිවන දැවිල්ලට
1. කොක්මොට තැම්බූ ජලයෙන් සේදීම
2. වෙනත් ඖෂධීය යුෂ සමඟ මිශ්‍රව කොක්මොට යුෂ ඉතා ගුණදායකය. (ආලේප කිරීම සඳහා)
වාත රෝග සහ ශීර්ෂ රෝග සඳහා සාදා ගන්නා පාරම්පරික වට්ටෝරුවල එක උපාදානයකි කොක්මොට (තෙල් විශේෂ වේ.)
මේ ආදී වශයෙන් කොක්මොට අඩංගු ඖෂධ යෝග රාශියක්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ ව්‍යවහාර වේ. ඒ අතර අක්මා රෝග පිලාව ඉදිමීම, කහ උණ සහ අධික මධ්‍යසාර ගන්න අයට කොක්මොට කෂාය සහ කැඳ ඉතා යෝග්‍ය වේ.
කොක්මොට ශාකය ඖෂධ සඳහා භාවිතා කිරීමේදී වල් නාශක බෙහෙත් ඉසින ලද ස්ථානවලින් කොක්මොට ශාකය ගලවා ගන්නට එපා. ඒ මක්නිසාද යත් විෂ රසායනික වල් නාශක අප රෝගී කරන නිසාවෙනි. එම නිසා සැලකිලිමත් වන්න.
ඔබ මෙතෙක් කොක්මොට ශාකය නොහඳුනනවා විය හැකි. එහෙත් මෙම ශාකයේ ඖෂධීය ගුණය පිළිබඳව දැන කටයුතු කිරීම වැදගත් වේ. මෙය තවත් වල් පැළෑටියක් නොවේ. ඔබේ හිතවතෙකි. ඔබ රැකදෙන.
සියලු දනන් හට ආයුෂ බොහෝ වේවා
ඉසිවර අරණ ඔබ හට සුව සෙත වේවා
ඔසු ගුණ වරුණ සැමගේ යහපත වේවා
හෙළ වෙද සුවය අපේ රට රැක දේවා
ඉසිවර අරණ, ඔසුතුරු කේන්ද්‍රය,
පාරම්පරික දේශීය වෛද්‍ය
අනුර කමල්සිරි පීරිස්,
මොරවින්න – මොරටුව
0773549416
උපුටා ගැනීම-http://subanetha.com